Tuesday, August 5, 2014

අපි ජාතියකින් වියුක්ත විය යුතු ද?

භූගෝලීය සාධක, සමේ පාට, විශ්වාස පද්ධතිය ආදී එකී මෙකී නොකී විවිධ හේතු නිසා විවිධ ජාතීන් නිර්මාණය වෙලා තියෙනවා. අපි ජාතක වෙන්නේ මොන ජාතියේ මව්පියන්ට ද කියන කාරනය මත අපේ "ජාතිය" මොකක් ද කියන එක තීරණය කරල තියෙනව. මම දන්න තරමින් අපි මොන ජාතියේ විය යුතුද කියන කාරණය අපට කලින් තීරණය කරන්න බෑ.. කොහොම හරි ස්වභාවයෙන් අපි අපේ ජාතියට තදින් බැඳෙනවා. එම ප්‍රාතමික හැඟීම මූලික කරගෙන තීන්දු තීර්ණ ගන්නවා. අපි ඔක්කොම මිනිස්සු කියන කුලකයේ කියන එක, හිතන එක වැරදී වගේ ද මන්දා, "අපි ඔක්කොම මිනිස්සු කියන කුලකයේ" කියන එක හිතන එක මග ඇරලා. මම ගැන කතා කලොත්, මගේ අම්මයි තාත්තයි සිංහල. ඉතින් මට සමාජයෙන් දීලා තියෙන අනන්‍යතාව "සිංහල". ඉතින් මට ජාතියක් තියෙන එකෙන් මට ඊට අදාළ සංස්කෘතියක් ලැබිල තියෙනවා. මම ඒ සංස්කෘතියේ තියෙන සමහර දේවල් පිලිගන්නව. සමහර දේවල් අයින් කරනව. එතොකොට මම තාමත් "සිංහල", හැබැයි හරියටම කිව්වොත් මම "කස්ටොමයිස්ඩ් සිංහල". සිංහල අපි, අපේ සංස්කෘතිය පොදුවේ වෙනස් කර ගන්න කොට, සිංහල අපි ජාතියක් විදියට පරිණාම වෙනවා. පුද්ගලයන් අතරේ තියෙන තරඟය වගේ, ජාතීන් අතරත් තරඟකාරීත්වයක් තියෙනවා. ඒ තරඟකාරීත්වය සමාජයට කරන බලපෑම හොඳද නරක ද කියන එක තීරණය වෙන්නේ අපි තරඟ කරන්නේ කොහොමද කියන එක මත. මේක හැම ජාතියකටම අදාළයි.
එක් ජාතියකට තවත් ජාතියක් තර්ජනයක් වෙන්න පුලුවන්. ඒකට විවිධ හේතු කාරණා මුල් වෙන්න පුලුවන්. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මත අපේ ජාතිය තවදුරටත් පවතිනවද නැතිවෙනවද කියන එක තීරණය වෙනවා. අපේ රටේ අනාගතය කොහොම වෙයිද කියන එක තීරණය වෙනවා.
ජාතීන් දෙකක් අතර නිර්මාණය වෙන ගැටලු වලින් ප්‍රයෝජන ගන්න හෝ ප්‍රයෝජන ලැබෙන විවිද පාර්ශව ඉන්නවා. උන් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක. අපිව උන් උන්ගේ අතකොළු කරගෙන උන්ට ඕන දේවල් කර ගන්නවා. අපට ඒක තේරුම් යද්දී අපිට ලැබුනු වටිනා ජීවිතයෙන් සැළකිය යුතු කාලයක් නාස්ති වෙලා වෙන්න පුලුවන්.. හොඳම දේ විදියට මම දකින්නේ ප්‍රායෝගික විසඳුම් වලින් ඇතිවෙලා තියෙන ගැටලු සාමකාමීව විසඳ ගන්න එක. අපට අපේ බුද්ධිය පාවිච්චි කලොත් වඩාත් නිර්මාණශීලි විසඳුම් හොයා ගන්න පුලුවනි.
ප්‍රතිවාදී ජාතියේ වීරයා හින්සාවාදී නම් ඔහු අපේ ජාතියට සාපේක්ශව ත්‍රස්තවාදියෙක්. මේ හින්සාවාදී වීරයා නොහොත් ත්‍රස්තවාදියා ජාතීන් දෙකටමත් මුලු මහත් සමාජයටත් හිරිහැරයක්. ඔහු රට තුළ යුද්ධයක් ඇති වෙන්න හේතුවක් වෙන්න පුලුවන්. රටක යුද්ධයක් පැවතීම ඒ රටට හිතකර දෙයක් නෙමෙයි. ඊටත් වඩා යුද්දයෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ ඊට මැදි වෙන අසරණ මිනිස්සු.. ඒක නිසා රට තුළ එවන් වාතාවරණයක් ඇති නොවෙන තැනට වැඩ කරන්න අපි හමෝම ජාතිභේද පැත්තකින් තියලා කැප වෙන්න ඕනා.
දේශපාලන නායකයින් සහ දේශපාලන පක්ශ බොහෝමයක් මේ වන විට ජනතාවට විශ්වාසය තැබිය නොහැකි තැනට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළයුතුයි!

No comments:

Post a Comment