අපිට එක දවසක් දේශනයක දී මනස ගැන කිව්වේ, ශරීරය කියන්නෙ සෛල මල්ලක්, ඒකෙ ඕනම තැනක මනස තියෙන්න පුළුවන් කියලා. පංති ඉවර වෙලා ගෙදර එන අතර මම ඉතින් පැය දෙකක් බස් එකේ නිදා ගන්න එපැයි.. එදා ඉතින් නිදා ගන්න එක පැත්තකින් තියලා කල්පනා සාගරේ ගිලෙන ගමන් සීට් එකට හේත්තුවක් දාගෙන ගලප ගන්න හැදුවේ මනස තියෙන්නෙ කොයි ලෝකෙද කියලා!
මම ඉතින් පොඩි කාලේ ඉදන් වයර් කෑලිත් එක්කනේ නැටුවෙ.. ඉතින් නොදැනුවත්ව ම මනස තියෙන්නෙ කොහෙද කියන එකට උත්තරේ ගලපන්න උදාහරණයට ගත්තෙත් ඒවම තමා.
අපේ සිරුර ගත්තම යන්තරයක් නේ..මම දන්න විදියට මොළය නැවතුනොත් දෙයියන්ගෙ පිහිටයි! හෘද වස්තුව නැවතුනොත් එහෙම නෙමෙයි, මොළය වැඩ නම් අරවා මෙව්වා කරලා සමහර වෙලාවට ගොඩ දාන්න පුළුවන්නේ.
මුලිකව ගත්තම 'මොළය' තියෙන්න ඕනා. ඒක වැඩ කරන්න ශක්තිය තියෙන්න ඕනා. මම හිතපු විදියට මොළය වැඩ කරන්න පටන් ගන්නෙ කොයි වෙලාවෙද ඒ මොහොතෙම "මනස" උපදිනවා. ප්රාථමික අවස්ථාවේ මනසට පැවැත්මක් තියෙන්නෙ මොළය වැඩ කරනකන් විතරයි.
වයර් කෑල්ලක්, බැටරි කෑල්ලක්, බල්බ් එකක් තියෙනව කියලා හිතන්නකො. මේ එක එකක් වෙන වෙනම ගත්තම දේවල් ටිකක් විතරනේ.. ඒ ටික පිළිවෙලකට එකතු කළොත්. ප්රධාන ලෙස ආලෝකය උපදිනවා (අමතරව තාපය).
ඒ වගේ තමයි මනස. ප්රධාන පද්ධති ටික පිළිවෙලකට එකතු වුනාම මනස උපදිනවා. 'මොළය' වෙනුවට සෛලයක් උනත් හිලවු (ප්‍රතිස්ථාපනය) කරගන්න, එහෙම බැලුවම "ශරීරය කියන්නෙ සෛල මල්ලක්, ඒකෙ ඕනම තැනක මනස තියෙන්න පුළුවන්" කියන කතාවෙ වරදක් නැහැ වගේ...
ඊට පස්සෙ මම හිතුවා මනසෙ පැවැත්ම ගැන.. ඒ ටික වෙනම ලිපියකින්!